Saturday, May 5, 2018

රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (05)


මම ඔබට මීට කලින් පාඩමෙන්,රුපවාහිනී ඇන්ටෙනාවක කොටස් ඉදිරිපත් කරනු ලැබුවා. ඒවා නම්,ඩයිපෝල්,රිෆ්ලෙක්ටර්, ඩිරෙක්ටර් යනුවෙනි. මෙහිදී ඩයිපෝලයේ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන් ඔබට ඉතා හොද අවබෝධයක්  ලැබී ඇති අතර රිෆ්ලෙක්ටරයේ සහ ඩිරෙක්ටරයේ ක්‍රියාකාරිත්වය පිලිබදව මම දැන් ඔබට පැහැදිලි කරන්නම්.

ඩයිපෝලයට වඩා  මදක් දිගින් වැඩි ඇලුමිනියම් බට කැබැල්ලක්, ඩයිපෝලයට මදක් දුරින් සමාන්තරව තැබූ විට, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඩයිපෝලයේ විකිරණ පැට්න් එක වැඩිවේ. ප්‍රතිවිරුද්ධ දිශාව යනු තරංග පැමිණෙන දිශාව වේ. මෙය ඇන්ටෙනා එකේ ගේන් එක වැඩි වීමක් ලෙස අපට සැලකිය හැක. රිෆ්ලෙක්ටර් එක ලෙස අප හදුන්වන්නේ මෙයයි. පහතින් ඉදිරිපත්කර ඇති රුපයෙන් ඔබට මෙය තවදුරටත් පැහැදිලි කරගත හැකි වේවි.
ඒවාගේම පහත රුපයේ ආකාරයට,  රිෆ්ලෙක්ටර් එකතැබූ පැත්තට විරුද්ධ පැත්තෙන්, ඩයිපෝලයට වඩා  මදක් දිගින් අඩු ඇලුමිනියම් බට කැබැල්ලක් තැබූ විට එම විකිරණ පැට්න් එක තරංග පැමිණෙන දිශාවට තවත් විශාලවී ඇන්ටනාවේ ගේන් එක තවත් වැඩිවේ. ඩිරෙක්ටරය ලෙස අප හදුන්වන්නේ මෙයයි. මේ ආකාරයට ඩිරෙක්ටර් එලිමන්ට් කීපයක් තැබුවිට ඇන්ටෙනා එකේ ගේන් එක තවත් වැඩි කරගත හැක.
ඕනෑම ඇන්ටනාවක් සැදීමේදී, රිෆ්ලෙක්ටරයේ දිග සහ, ඩයිපෝලයේ සිට රිෆ්ලෙක්ටර් එකට ඇති දුර පහත පරිදි ගණනය කරගත හැක.

එනම්, ඇන්ටෙනාවට ලබාගන්නා තරංග පන්තියේ සයිකලයක දිගෙන් 1/8 සිට 1/4 දක්වා වූ ප්‍රමාණයට සමාන දුරක් , ඩයිපෝලයත් රිෆ්ලෙක්ටරයත් අතර  තැබිය යුතුවේ. ඒවාගේම රිෆ්ලෙක්ටරයේ දිග ඩයිපෝලයට වඩා සියයට 5 වැඩි විය යුතුවේ.

ඒවාගේම ඕනෑම ඇන්ටෙනාවක් සැදීමේදී, ඩිරෙක්ටරයේ දිග සහ ඩයිපෝලයේ සිට ඩිරෙක්ටර්  එකට ඇති දුරද  පහත පරිදි ගණනය කරගත හැක.

ඇන්ටෙනාවට ලබාගන්නා තරංග පන්තියේ සයිකලයක දිගෙන් 1/10 සිට 3/20 දක්වා වූ ප්‍රමාණයට සමාන දුරක් , ඩයිපෝලයත් ඩිරෙක්ටරයත්  අතර  තැබිය යුතුවේ. ඒවාගේම ඩිරෙක්ටරයේ  දිග ඩයිපෝලයට වඩා සියයට 5 අඩු  විය යුතුවේ.( ඒ ඒ රුපවාහිනී නාලිකා වලට අනුව එම තරංග පන්ති වල දිග සොයා ගන්න ආකාරය ඉදිරියේදී ඉදිරිපත් කරනු ලැබේ)

තවත් කොටසක් බලාපොරොත්තුවන්න...

No comments:

Post a Comment